මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට මියන්මාරයේ ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේ උදෙසා මියන්මාර රජය පරිනමන ඉහළම සම්මානය වන අග්ග මහා පණ්ඩිත ගෞරව නාමයට පාත්‍ර වු ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේ සිවිනමක් සිටීමද විශේෂත්වයක් වනවා.

ඒ අනුව, දෙහිවල ශ්‍රී මහා බෝධි මහා විහාරයේ මිහිරිපැන්නේ සෝභිත ස්වාමීන් වහන්සේ, කැලණිය රජමහා විහාරය සහ කිත්සිරිමෙවන් රජ මහා විහාරයේ ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී අමරපුර ධර්මරක්ෂිතවංශ මහා නිකායේ තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී කල්‍යාණිවංශ අමරපුර මහා නිකායේ දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ වෙත අග්ගමහාපණ්ඩිත ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන් වහන්සේ වෙත අග්ග මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

පිලියන්දල තුම්බෝවිල පුරාණ මහා විහාරයේ තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ දම්රිවි පදනමේ විශ්‍රාමික මහාචාර්ය අසංග තිලකරත්න මැතිතුමාට මහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය පිරිනමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here