ජනපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත සඳුන් ගස් 1000 කින් යුත් උයනක් බත්තරමුල්ලේ ඉදිකෙරේ.සඳුන් ගස්වල සිසිලස සමඟ විවේකීව ගත කිරීමට ජනතාවට නොමිලේ අවස්ථාව, ලොව මිල අධිකම තෙල් වර්ගය වන්නේ ද සඳුන් තෙල්ය.

ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක් රටට දායාද කිරීම සඳහා, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජාතික සදුන් උයන ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කෙරිණ.

කැන්ටලම් කුලයේ ශාකයක් වන මෙම සදුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉදිකෙරෙන අතර එය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

අතීතයේ රාජ්‍ය අනුග්‍රහය යටතේ කොතෙකුත් උයන් ඉදිවුව ද, රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්තමානයේ සඳුන් උද්‍යානයක් ඉදිකෙරෙන පළමු අවස්ථාව මෙයයි.

ඉදිවන එම උද්‍යානය ද සදුන් උයනක් වීම විශේෂත්වයකි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඉදිවන ජාතික සදුන් උයන, අක්කර 09 ක භූමි භාගයක ඉදිකෙරේ.

ජාතික සදුන් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව ඇත. අප්‍රේල් මාසයේ අග වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු නිමකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.

උද්‍යානය මේ වන විට සදුන් පැළ 1000 කින් සමන්විතයි. සිටුවන ලද සදුන් පැළවලට ආධාරක පැළ ලෙස මුගුණුවැන්න පැළ සිටුවා තිබේ. මෙමඟින් පසේ තෙතමනය නොකඩවා රදවාගැනීම සහ සදුන් පැලවලට අවශ්‍ය ජලය රදවා ගැනීම ඉටුවෙයි.

ජාතික සදුන් උයන වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියකි. සදුන් ගස්වලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇත.

උද්‍යානයට ඇතුළුවිය යුත්තේ වතුර පොකුණු දෙකක් මැදිනි. මෙම පොකුණු දෙක ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විතයි. පොකුණු දෙක මැදින් උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පවතියි. ප්‍රවේශ මාර්ගය දෙපස මදක් ඉහළ බිත්ති 08 ක් බැද තිබේ. එම බිත්ති මතින් නිරන්තරයෙන් ඇද හැලෙන සිහින් ජල ධාරා දිය ඇල්ලක සිරිය ගෙනෙයි.

ඉන් අනතුරුව පිවිසෙන්නේ දෙපස ඇති වර්ණවත් මල් ගොමුවටයි. එය පරිසරය සමඟ බද්ධවන ආලෝකයකින් සමන්විතයි. ස්වයංක්‍රීයව රටා මවන වතුර මල් ද මෙහි අන්තර්ගතය. එයින් පසු කුඩා පොකුණු 12 කින් යුතු ප්‍රදේශයකට පිවිසිය හැක.

මෙහි ඇති එළිමහන් රංග පීඨය අතීතයේ පැවති රංග පීඨවලට ද සමාන වේ. එය නිදහසේ පරිහරණය කිරීමේ අවස්ථාව ද හිමිකර දී ඇත.

ජාතික සදුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවෙයි. මේ සඳහා පළවෙනි අදියරට රුපියල් මිලියන 132 ක් ද, දෙවන අදියර සදහා රුපියල් මිලියන 162 ක් ද වැයකර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි පිරිවැය දරණ අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

ජාතික සඳුන් උයන නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය, විවිධත්වය මෙන්ම තම සිත කැමති පරිසරය සහ යහපත් ක්‍රියාවන්, අවස්ථාවන් සඳහා ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ව්‍යායාම කිරීම, යෝගි ව්‍යායාම් වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් කිරීමට ඉතා සුදුසු පරිසර පද්ධතියක් ද මෙහි නිර්මාණය කර ඇත.

ජාතික සදුන් උයනට පැමිණෙන්නන්ට ස්වභාවික ආහාර පාන ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.

ජාතික සදුන් උයන වාහන 60 ක් නවතාලිය හැකි විවෘත රථගාලකින් ද සමන්විතයි.

සඳුන් ගස් වර්ග අතර ඉන්දියානු සහ ඕස්ටේ්‍රලියානු සදුන් වර්ග යනු ලොව වටිනාම සඳුන් ගස් වර්ග දෙකය. සදුන් ගස්වල නිජබිම ලෙස ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ හවායි දූපත් සඳහන් වෙයි.

ලොව මිළ අධිකම තෙල් වර්ගය වන සදුන් තෙල් සහ ඉන්දියානු සදුන් තෙල් සැන්ටලෝල් නම් වටිනා ගුණයෙන් යුතු වේ.

මදක් ගෝලාකාර හැඩයකින් යුත් සදුන් ගසක් වැඩීමට අවම වශයෙන් වසර 15 ක් පමණ ගතවෙයි. ඒ කාලය වන විට සදුන් ගස්වලින් තෙල් ලබා ගැනීමට ද හැකියාව පවතී. ගස පරණ වූ තරමට ලබාගන්නා තෙල්වල වටිනාකමද ඉහළ යයි.

සදුන් තෙල් මෘදුය. උණුසුමය. සිසිලස දෙයි. ක්‍රීම්, කිරි ගතියෙන් යුක්තයි. අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද සූපවේදීන් සදුන් තෙල් ආහාර පිළියෙල කිරිමට යොදා ගැනේ.

හින්දු ආගමේ ශිව දෙවි වන්දනාවට සහ ජයින ආගමේ ද පූජනීය වස්තුවක් ලෙස සදුන් ගස් හැඳින්වේ.  සදුන් ගසේ ලක්ෂ්මී දේවිය වැඩ වාසය කරන බව ලොව පුරා බැතිමතුන්ගේ විස්වාසයයි.

ප්‍රථම වරට ලංකවේ ඉදිවූ ජාතික සදුන් උයන මෙම සියල්ලක් ම ජනතාවට නොමිලයේ ලබාදෙන්නේ ඒ එය රජයේ ජාතික වගකීමක් ලෙස සලකායි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ජාතික සඳුන් උයනෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here