එක්ප්‍රස් පර්ල් (Express Pearl) නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් අපවිත්‍ර වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව මේ දිනවල කඩිනමින් සිදු කෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අදාළ වෙරළ තීර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරේ.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 09 ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසිණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳුපුර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම කටයුතු සිදු කරනු ලබයි.

පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ද මෙම වෙරළ තීරය ලක්විය.

පසුගිය 26 වැනි දා මෙම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් ආරම්භ කළ අතර අද (02) දින වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්වලින් පැමිණි ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් 584 ක් වෙරළෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා මෙම කුඩා ප්ලාස්ටික් බෝල වැනි ද්‍රව්‍ය ආරක්ෂිතව බෑග්වල අසුරා ආරක්ෂිත ස්ථානයක කන්ටේනර් තුළ ගබඩා කර තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.

නාවික හමුදාවේ බටහිර විධානයේ සෙබළුන් 470 ක් පමණ පිරිසක් දිනපතා මෙම වෙරළ කොටස පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින අතර උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඔවුහු මෙම කාර්යයේ නිරත වෙති.

ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි අණදෙන නිලධාරී කමාන්ඩර් ඊ.එම්.ඒ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ලුතිනන් ඒ. ඩබ්ලිව්. එම්.අයි. විජේකෝන් මහතාගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසින් උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.

නාවික හමුදා සෙබළුන් මඟින් මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු අධික්ෂණයට නිලධාරීන් ද 15 දෙනෙකු පමණ යොදවා ඇත.

මීට අමතරව නාවික හමුදාවේ ජීවීත ආරක්ෂක සෙබළුන් කණ්ඩායමක් ද ඒ අවට සේවයේ යොදවා සිටින්නේ මුහුදේ රළ ගහන ප්‍රදේශයේ සිට ම මෙම සෙබළුන් විසින් මුහුද සහ වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන නිසාය.

මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය හිමි වී තිබේ.

විශාල වශයෙන් ප්ලාස්ටික එක් වී තිබූ ප්‍රදේශවලින් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ම වෙරළ තීරය පිරිසිදු වෙමින් පවතින අතර තවදුරටත් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here