අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ගොඩනගනු ලබන නව ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීමට රාජ්‍ය ආයතනයන් සඳහා නිසි පුහුණුව ලත් ශ්‍රම බලකායක් ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරයි.

පසුගිය දා අනුරාධපුරය, ගල්කුලමේ දී ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කීර්ති රංජිත් අබේසිරිවර්ධන සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති සොහාන් විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින්, ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරීනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකිරීම් කර්මාන්ත අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ යටතේ “ශ්‍රම සිකුරු”, “නිපුණ ශක්ති” සහ “සයනි” නමින් ව්‍යාපෘති 03 ක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව ශ්‍රම බලකායන් ගොඩනැගීමට කටයුතු කරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙල 2021 – 2030 නිපුණතා සංවර්ධන දශකය යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, 2020 ශ්‍රම බලකාය සවිබල ගැන්වීම නමින් එය හඳුන්වා දී තිබේ.

ක්‍රියාත්මක කළ ශ්‍රම සිකුරු ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත වේ. ඒ යටතේ පළමු අදියර සඳහා ශ්‍රමිකයෝ 4191 දෙනෙක් පුහුණු කෙරෙති. පුහුණු ශ්‍රමිකයින් 5000 ක් බිහි කිරීම ඉලක්ක කර ගත් මෙම අදියර සඳහා රුපියල් මිලියන 80 ක් වෙන්කර තිබේ. මේ යටතේ පෙදරේරු, වඩු, ජලනල, ටයිල් හා කම්බිකරු වෘත්තීන්ට අදාළව පුහුණුව ලබාදීම සිදුකෙරේ.

ශ්‍රම සිකුරු ව්‍යාපෘතියේ දෙවන අදියර තුළ ශ්‍රමිකයන් 4100 ක් පුහුණු කිරීමට නියමිතයි. ඒ යටතේ පෙදරේරු, වඩු, ජලනල, ටයිල් හා කම්බිකරු වෘත්තීන්ට අදාලව ශ්‍රමිකයින්ට පුහුණුව ලබා දෙයි.

සයනී ව්‍යාපෘතිය යටතේ පුහුණු කෙරෙන ශ්‍රමිකයින් සපිරි යන්ත්‍ර නියාමක නමින් හඳුන්වයි. මේ යටතේ ඉදිකිරීම් යන්ත්‍ර ක්‍රියාකරුවන් 1250 ක් පුහුණු කිරීම සිදුකෙරෙයි.

මීට අමතරව තාක්ෂණ ශිල්පීන් 120 ක් පුහුණු කිරීම “නිපුණ ශක්ති” ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 10 ක් මේ වන විට වෙන්කර තිබේ.

බහු නිපුණතා ක්‍රියාකරු යන ව්‍යාපෘතිය ද මෙම ව්‍යාපෘති සමඟම ක්‍රියාත්මක කෙරෙන තවත් ව්‍යාපෘතියකි. ඒ යටතේ එක් දිස්ත්‍රික්කයකින් ශ්‍රමිකයින් 50 දෙනෙකු බැගින්, ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් වසරකට ශ්‍රමිකයන් 1250 දෙනෙකු පුහුණු කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලබන්නන් සඳහා නොමිලේ නිල ඇඳුම්, පාවහන්, පොත්පත්, නවාතැන් හා ආහාර පාන ලබාදීම සහ NVQ 3 සහතිකය යටතේ ට්‍රැක්ටර් සහ ඩම්ප් පුහුණු බලපත්‍ර ලබාදීම ද සිදු කෙරේ.

මෙම වැඩසටහන යටතේ ම තවත් විශේෂ නව ව්‍යාපෘතියක් ද එළි දැක්වීමට නියමිතයි. ඒ ගොඩනැගීම සඳහා වන ජාතික කේතයක් එළිදැක්වීමයි. ඒ සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 47.5 ක මුදලක් වෙන් කර ඇති අතර මේ වෙනුවෙන් වන සම්පූර්ණ ඇස්තමේන්තුවේ වටිනාකම රුපියල් මිලියන 159 ක් ලෙස දක්වා තිබේ.

තවද “ආයතනික සැලසුම් තොරතුරු තාක්ෂණ පද්ධතියක් සඳහා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ” නව ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 35 ක් වෙන්කර ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන් ම යන්ත්‍ර ක්‍රියාකරුවන් අන්තර් ජාතික තලයට ඔසවා තැබීම මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන විශේෂ ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතියට අවශ්‍ය නවීන යන්ත්‍ර ලබා ගැනීම සඳහා ද මුදල් වෙන් කර ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සියලු ශ්‍රමික පුහුණු පාඨමාලාවන්ට අමතරව විශේෂ පාඨමාලාවක් ද ශ්‍රමිකයින් පුහුණු කිරීම සඳහා දැනටමත් අරඹා තිබේ.

මුදල් අයකිරීමක් මත පුහුණුව ලබාදෙන මෙම පාඨමාලාව මාසයක සිට මාස 03 ක් දක්වා පැවැත්වේ.

මේ යටතේ පුහුණු කරන ශ්‍රමිකයින් හට සහතිකයක් ලබා දෙන අතර, පුහුණුව ලැබූවන් සුදුසු රැකියා ආයතන සඳහා යොමු කිරීම ද සිදු කරයි.

වර්තමානයට මෙන්ම අනාගතයට ද දැඩි ඉල්ලුමක් පවතින මෝටර් ග්‍රේඩර්, ලෝඩර් බැකෝ, එක්ස්කැවේටර්, ක්‍රේන් වයිබ්‍රේටින් රෝලර්, ඩෝසර් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වන සැහැල්ලු ඉදිකිරීම් යන්ත්‍ර සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.

තවද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව බහුවිධ ඉදිකිරීම් ශිල්ප පුහුණු අවස්ථා නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබේ.

මේ යටතේ පුහුණු අවස්ථා 1,000 ක් ශ්‍රමිකයන් හට නොමිලේ ලබා දීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් කර සිටී.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස, ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය එන්.ටී.එස්. විජේසේකර, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් වාස්තු විද්‍යාඥ එච්.කේ. බාලචන්ද්‍ර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම ශ්‍රම බලකාය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here