එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චෙන් ෂු මහතා 46වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් කියා සිටියේ මානව හිමිකම් ප්රවර්ධනය කර ආරක්ෂා කරන ශ්රී ලංකා රජයට ප්රසාංසා කරන අතර ශ්රී ලංකාවේ අභ්යන්තර කටයුතුවලට බාහිර බලවේගයන් මැදිහත්වීමට විරුද්ධ වන බවයි.
ශ්රී ලංකාවේ මිත්ර අසල්වැසි රටක් වන චීනය ශ්රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය, ජාතික සමගිය සහ භෞමික අඛණ්ඩතාව පවත්වා ගැනීම කෙරෙහි අවංකවම සැලකිල්ල දක්වන බව පැවසූ චෙන් ෂු මහතා ශ්රී ලංකාවට තම සංවර්ධන මාවතේහි වඩාත් වැඩි ජයග්රහණ දිනා ගැනීමට හැකි වනු ඇතැයි ප්රාර්ථනා කළේය.
මානව හිමිකම් ගැටළු දේශපාලනීකරණය කිරීම සහ ද්විත්ව ප්රමිතීන්ට සැම විටම විරුද්ධ වන චීනය මානව හිමිකම් ප්රශ්න මුවාවෙන් වෙනත් රටවල අභ්යන්තර කටයුතුවලට මැදිහත්වීමට ද විරුද්ධ වෙයි. මෙම රැස්වීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කළ ශ්රී ලංකාව පිළිබඳ වාර්තාවේ කරුණු පිළිබඳව චීනය සැලකිලිමත් වන අතර, එම කාර්යාලය ශ්රී ලංකා රජයේ නිල තොරතුරු භාවිත නොකිරීම පිළිබඳව කනගාටු වන බව චෙන් ෂු මහතා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ආරම්භ කිරීමට පෙර ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ලිපියක් යවමින් යෝජනාව සම්බන්ධයෙන් චීනයේ අවබෝධය සහ සහාය ඉල්ලා සිටියේය. මේ අතර පෙබරවාරි 24 වන දින විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන රාජ්ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්ය වන්ග් යී මහාතා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් චීනයේ අඛණ්ඩ සහයෝගය ඉල්ලා සිටියේය.
සංවර්ධනය වෙමින් පවතින රටවල නීත්යනුකූල අයිතිවාසිකම් සහ අවශ්යතා, ජාත්යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්මයන්ට අනුව වෙනත් රටවල අභ්යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඒකාබද්ධව ආරක්ෂා කිරීම සඳහා ශ්රී ලංකාව සමඟ එකිනෙකාට සහයෝගය දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන විදේශ ඇමතිවරයා එම සංවාදයේ දී යළි අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here