කුරුණෑගලට අති නවීන ශික්ෂණ රෝහලක්….!!!
කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකර දෙන බව මම අද (10) දින ප්රකාශ කළෙමි.
පළාත් මහ රෝහලේ හා දිස්ත්රික්කයේ අනෙකුත් රෝහල් ආශ්රිතව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ පැවැති හමුවේ දී මේ බව සඳහන් කළෙමි.
අලුතින් නව රෝහල ඉදිකර අවසන් වන තුරු කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්ය, හෙද හා සෞඛ්ය කාර්ය මණ්ඩල හිඟය වහා ම පියවන ලෙස ද මෙහි දී සෞඛ්ය ඇමතිනී පවිත්රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුනිමි. ඒ අනුව මසක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ පවතින වෛද්ය, හෙද හා සෞඛ්ය කාර්ය මණ්ඩල හිඟය පියවන බව සෞඛ්ය ඇමැතිතුමිය පැවසුවා ය.
ශික්ෂණ රෝහලක් ලෙස හැඳින්වුවද කුරුණෑගල මහ රෝහල පළාත් මහ රෝහලක් ලෙස මේ දක්වා ක්රියාත්මකවන බව මෙහි දී අනාවරණය විය. වසරකට රෝගීන් මිලියන 1.2ක් පමණ මෙම රෝහල මගින් ප්රතිකාර ලබන අතර 2019 දත්ත අනුව එම වසරේ දී බාහිර රෝගී අංශයෙන් පමණක් ප්රතිකාර ලබා ඇති රෝගීන් ගණන හය ලක්ෂ තිස්දහසකි. මාසික නව දරු උපත් 1000ක් පමණ එහි සිදු වේ.
කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනි වන කුරුණෑගල මහ රෝහල මෙ රට තෙවැනි විශාලතම රෝහලයි. ඇඳන් 2374 කින් සමන්විත රෝහලේ වසරකට ශල්ය කර්ම 18000 කට ආසන්න සංඛ්යාවක් සිදු කරයි. ශල්යාගාර 06ක් පමණ යොදා ගනිමින් මෙම ඉලක්කය සපුරන බව කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්යක්ෂිකා වෛද්ය ප්රමිතා ශාන්තිලතා මහත්මිය පෙන්වා දුන්නා ය.
නව මාතෘ වාට්ටු සංකීර්ණය හා විශේෂඥ ශල්ය ඒකක සඳහා අවශ්ය ශල්යාගාර, විකලාංග හා අක්ෂි ශල්ය ඒකකයක්, ළදරු ඒකකයක් ඇතුළු රෝහලේ පවතින අඩුපාඩු සහ කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ මෙන් ම ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳව ද කුරුණෑගල මහ රෝහලේ නියෝජ්ය අධ්යක්ෂවරිය මෙහි දී විස්තර කළා ය.
ප්රධාන මාර්ග 5ක් එකිනෙකට සම්බන්ධ වන නගරවක පිහිටීම නිසා වෙනත් දිස්ත්රික්කවල ජනතාව ද කුරුණෑගල රෝහලට ප්රතිකාර සඳහා යොමුවන බව පෙන්වා දුන් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය අනුරුද්ධ පාදෙණිය මහතා ජාතික වටිනාකමක් සහිත කුරුණෑගල රෝහලට පසුගිය කාලයේ සිදුව ඇති හානිය විස්තර කළේ ය.
මෙහි දී මහා මාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා කුරුණෑගලට අවශ්ය වන්නේ පවතින රෝහල නවීකරණයට වඩා නගරයට ගැලපෙන නව රෝහලක් යැයි පවසමින් අලුතින් රෝහලක් ඉදිකර දෙන්නැයි අග්රාමාත්යතුමාගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව නව රෝහලක් ඉදිවිය යුතු බව මගේ ද අදහස බවත් අදාළ රෝහලේ මූලික සැලැස්ම මාස දෙකක් ඇතුළත දළ ඇස්තමේන්තු සහිතව තමන්ට ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දුනිමි.
මෙම හමුවේ දී විශේෂ හෙළිදරුව්වක් කළ විශේෂඥ වෛද්ය අනුරුද්ධ පාදෙණිය මහතා 1948-2008 වසර දක්වා 600කට සීමා වී තිබු රටේ සමස්ත විශේෂඥ වෛද්යවරුන්ගේ සංඛ්යාව 2008-2015 කාලයේ දී එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ දී 2100 දක්වා ඉහළ දැමූ බවත් 2015-2020 කාලයේදී එම සංඛ්යාව 2086 දක්වා අඩුවී ඇති බවත් පෙන්වා දුන්නේය.
පසුගිය ආණ්ඩුව සමයේ වෛද්ය පත්වීම් ප්රමාද වීම නිසා වෛද්යවරුන් 4000 කින් 2000 කට, රට හැර ගියා හෝ කුමක් සිදුවී දැයි දැන ගන්නට නොමැති තත්ත්වට පත්ව ඇතැයි ද හෙතම අනාවරණය කළේ ය.
මහරගම පිළිකා රෝහලට වෙනදා දිනකට ඇතුළු වූ රෝගීන් ගණන දෙදෙනෙක් තුන්දෙනෙක් වුවද දැනට එම සංඛ්යාව දිනකට 74-78 දක්වා ඉහළ ගොස් ඇතැයි කී විශේෂඥ වෛද්ය පාදෙණිය මහතා, කෘෂි රසායන භාවිතය නවතා දමමින් කෘෂි කර්මාන්තය කාබනික හෝ හෙළ ගොවිතැනට යොමු කරන්නැයි මගෙන් ඉල්ලා සිටියේ ය.
වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, පොල්පිතිගම ඇතුළු රෝහල්වල පවතින දුෂ්කරතා මඟහැරීමට ද මෙහි දී මම උපදෙස් ලබා දුනිමි. පාර්ලිමේන්තු මන්ත්රි ශාන්ත බණ්ඩාර මහතා ඊට අදාළ ලිපි ගොනුවක් ද මා වෙතෙ භාර දුන්නේ ය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, රාජ්ය අමාත්ය ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත්, පාර්ලිමේන්තු මන්ත්රී වයි.ජී. රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්රී අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්රී සුමිත් උඩුකුඹුර, පාර්ලිමේන්තු මන්ත්රී සමන්ප්රිය හේරත්, පාර්ලිමේන්තු මන්ත්රී මංජුලා දිසානායක, පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත්, කරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, අග්රාමාත්ය ලේකම් ගාමිණී සෙනරත්, අග්රාමාත්ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, වයඹ පළාත් ප්රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන, කුරුණෑගල දිස්ත්රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ
2020.01.10

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here